ළඟ ළඟම එන දේපළ බද්ද

HTML tutorial
Reading Time: 4 minutes

ශ්‍රී ලංකාවට ණය දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කර දෙවැනි වාරිකය ලබා දීමට පියවර ගත්තේ පසුගියදාය. නිදහස් කිරීමට මාස 3ක් පමණ ප්‍රමාද වූ දෙවැනි ණය වාරිකය මේ වන විට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු පිරිසක් පසුගිය සතියේ මෙරට ජනාධිපති, වැඩබලන මුදල් ඇමැති, විපක්ෂ නායක සහ තවත් දේශපාලන පක්ෂ නියෝජිතයන්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාද හමුවිය. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ පිළිබඳව තම ප්‍රසාදය පළ කර ඇති එම නියෝජිත පිරිස එම ප්‍රතිසංස්කරණ නොවෙස්ව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කර තිබේ.

මහ බැංකු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවකට සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාව මෙතෙක් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි ධනාත්මක ප්‍රගතියක් පෙන්වන බවත් එමෙන්ම එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලැබිය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

”2023 වසරේ බදු ආදායම ඉහළ ගියද රජයේ වියදමට සාපේක්ෂව එය ප්‍රමාණවත් නැහැ. බදු ආදායම තවදුරටත් ඉහළ නංවාගැනීම සඳහා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකා බලධාරින් විසින් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු යහපත් මට්ටමක පවතිනවා. 2023 තුන්වැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කාර්තු 6කට පසු 1.6%ක ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය යම් පමණකට සීමා වී තිබේ, උද්ධමනයද යම් මට්ටමකට පාලනය වී ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.5කින් පමණ වර්ධනය වී ඇති අතර ඉන් රාජ්‍ය ආදායමද වර්ධනය වී තිබේ. ඒ අනුව මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වී තිබෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති IMF governance diagnostic නමැති වාර්තාවේ සඳහන් පරිදි මූලික දත්තවලට අනුව 2023 වසරේ සිව්වැනි කාර්තුවේදී රාජ්‍ය මූල්‍ය ආදායම ඉහළ ගොස් තිබේ. 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ බදු ආදායම 7% සිට 9% දක්වා ඉහළ ගොස් ඇති නමුදු රාජ්‍ය වියදම හා සසඳන කළ එය අපේක්ෂිත ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩුය. මේ හේතුව මත 2024 බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% දක්වාත්, 2025 දී 14% දක්වාත් ඉහළ නංවාගැනීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ නොකඩවා ක්‍රියාත්මක කළ යැයි පෙන්වා දී තිබේ.

මාධ්‍ය සාකච්ඡාවේදී පීටර් බෲවර් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දේපළ බද්ද කඩිනමින් හඳුන්වා දිය යුතු බවටය. එම බද්ද මගින් බදු බර සමාන ලෙස බෙදී යාමක් සිදුවන අතර බදු ගෙවීම පැහැර හැරීම වළක්වාලීම තුළින් දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ තිරසර ලෙස පවත්වාගෙන යා හැකි බවද පෙන්වා දී තිබේ. එමෙන්ම උද්ධමනය පාලනය කර ගැනීම ඉතා වැදගත් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය මනාව කළමනාකරණය කිරීමට පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද සඳහන් කරයි.

මේ වන විට මෙරට උද්ධමනය 4%ක් වැනි අගයක පවතී. මෙය තවදුරටත් ඉහළ යා හැකිය. එවැනි වාතාවරණයක් යටතේ උද්ධමනය පාලනය කිරීමට නම් පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය යම් මට්ටමකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා බිස්නස් ටීවී නාලිකාවේ ආර්ථික විශ්ලේෂක ජයන්ත කෝවිලගොඩගේ මහතා පෙන්වා දෙයි.

ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොඳින් අවසන් කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය පෙන්වා දී තිබේ.

”මේ වන විට ණය තිරසර මාවතකට යොමුකිරීම අතින් ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රසංශනීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා වැදගත් කාර්යයක්. නිල ණය හිමියන් සමඟ අවසන් එකඟතාවට පැමිණීමත් බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ එකඟතාවට එළඹීමත් අවශයයි. මේ වන විට නිල ණය හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණීම ධනාත්මක තත්ත්වයක්. මෙම ප්‍රතිපත්තිමය එකඟතා අවසන් එකඟතා බවට පත් කළ යුතුයි. එවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එක් පියවරක් අවසන්. අනෙක් පියවර සපුරාලීම සඳහා වාණිජ ණය හිමියන් සමඟ එකඟතාවට පැමිණිය යුතුයි. ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හොඳින් අවසන් කළ යුතු යැයි” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කරන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගිවිසුම් 2024 පළමු කාර්තුවේදී අත්සන් කිරීමට පියවර ගන්නා බවටය. ”ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කර ඇති මූල්‍ය සහ නීති උපදේශකයන් වන ලසාච් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනයන්හි නියෝජිතයන් සමඟ අප සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව ද්විපාර්ශ්වික ණය හිමියන් සඳහා 2024 පළමු කාර්තුව අවසන් වීමට ප්‍රථම ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු අවසන් කොට ගෙවීම් කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරනවා. බහුපාර්ශ්වික ණය හිමියන්ගේ ණය ගෙවීම අත් නොහැර ගෙවීමට කටයුතු කළ අතර පෞද්ගලික හා වාණිජ බැඳුම්කර හිමියන් සමඟ තවම සාකච්ඡා පැවැත්වෙනවා. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයකට පැමිණ තිබෙනවා. මේ වසර අවසන් වන විට එම කටයුතු අවසන් කොට අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දේපළ බද්ද කඩිනමින් හඳුන්වා දිය යුතු යැයි පෙන්වා දී තිබේ. එම බද්ද මගින් බදු බර සමාන ලෙස බෙදී යාමක් සිදුවන අතර බදු ගෙවීම පැහැර හැරීම වළක්වාලීම තුළින් දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ තිරසර ලෙස පවත්වාගෙන යා හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.

එවැනි වාතාවරණයක් යටතේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් විශාල අභියෝග රුසකට මුහුණ පාමින් සිටින්නේ යැයිද ඔවුහු පෙන්වා දෙති. එම අභියෝග අතර ප්‍රධානම අභියෝගය වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමය. ආයෝජකයන්ගේ විශ්වාසය යළි තහවුරු කර ගැනීම සඳහාත්, ජනතාවට ප්‍රතිලාභ ලබා දීම සඳහාත් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ අඛණ්ඩව හා තිරසර ලෙස කරගෙන යා යුතු බවද ඔවුන් පෙන්වා දී තිබේ.

මෙරට බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සඳහන් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමතරව බදු පරිපාලනය සහ බදු විරාම ඉවත් කිරීමද ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු යැයි පෙන්වා දෙයි. බදු විරාම ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයක් නොමැති යැයි සඳහන් කර ඇති අතර, බැංකු පනත සංශෝධනය කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවද සඳහන් කරයි. එම වාර්තාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය තමන්ගේම සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු බවද එහි සඳහන්ය.

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති හමුවේදී ඔහු එම නියෝජිතයන්ට පවසා ඇත්තේ වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ඒක පාර්ශ්වීය ගිවිසුම තම රජයක් යටතේ සංශෝධනය කර පොදු ජනතාවට වැදගත් වන ජනතාවාදී ගිවිසුමකට එළඹෙන බවයි. වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාව මත විශාල බදු බරක් පටවා ඇතැයිද වැට් ඇතුළු විවිධ බදු අධික ලෙස වැඩිකර ඇතැයි ද ඔහු පෙන්වා දී තිබේ.

එම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කර ඇත්තේ කුමන පාර්ශ්වයක් බලයට පත් වුවද රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවටය. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි බවත් ඒ සඳහා යම් කාලයක් ගතවන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *