ලෝක ටෙස්ට් ශූරතා සටනට හෙට ගාල්ලේදී හමුවෙන ශ්‍රී ලංකාව සහ පකිස්තානය…

HTML tutorial
Reading Time: 2 minutes

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

මේ කණ්ඩායම් දෙකම 2023/25 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කරන්නේ ද මේ තරගයෙනි.

මේ කණ්ඩායම් දෙක හෙට ගාල්ලේදී හමුවන්නේ හරියටම වසරකට පසු වීම විශේෂත්වයකි. මේ දෙපිල අවසන් වරට පසුගිය වසරේ ජූලි 16 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක් වූ අතර, ඉන් පළමු තරගය පාකිස්තානයත් දෙවැනි තරගය ශ්‍රී ලංකාවත් ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් මාසයේ අයර්ලන්තයට එරෙහිව ගාලු පිටියේදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0කින් ජය ගැනීමෙන් අනතුරුව යළි ටෙස්ට් පිටියට පිවිසෙන්නේ මේ තරගයෙනි.

පාකිස්තානය මාස 6කට පසුව ටෙස්ට් තරගයකට එක් වීම කැපී පෙනෙන අතර, ඔවුන් අවසන් වරට මේ වසරේ ජනවාරි මස ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර තිබිණි.

දෙරට අතර මේ වන විට ටෙස්ට් තරග 57ක් පවත්වා ඇති අතර, ඉන් තරග 21ක් පාකිස්තානයත්, තරග 17ක් ශ්‍රී ලංකාවත් ජය ගෙන තිබේ. තරග 19ක් නිමා වී ඇත්තේ ජය පරාජයෙන් තොරවය.

ලෝක ටෙස්ට් පිටියේ ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්තානය 6 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

දෙරට අතර පැවති අවසන් ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ හෙට තරගය සඳහා නම් කර ඇති සංචිතයට ඇතුළත්ව නැති අතර, නවකයන් ලෙස වේග පන්දු යවන ඩිල්ෂාන් මධුෂංක සහ දඟ පන්දු යවන ලක්ෂිත මනසිංහ සංචිතයට එක්ව සිටිති. අවසන් වරට පැවති තරගාවලියෙන් පසු ටෙස්ට් නායකත්වයට සමුදීමට තීරණය කළ ද දිමුත් තවදුරටත් නායකයා ලෙස කටයුතු කරයි.

පසුගිය වසරේ ගාලු තරගයේදී ආබාධයකට ලක්වූ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් අෆ්රිඩි 100 වැනි ටෙස්ට් කඩුල්ල බිඳ දැමීමේ අරමුණින් මේ තරගයට එක් වන අතර, පාකිස්තාන සංචිතයට තවමත් ටෙස්ට් වරම් දිනා නැති නවකයක් දෙදෙනකු වන 21 හැවිරිදි පිතිකරු මුහම්මද් හුරේරා සහ 26 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක ආමිර් ජමාල් ඇතුළත් කර තිබේ.

පළමු තරගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා (උපනායක), පැතුම් නිශ්ශංක, සධීර සමරවික්‍රම (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුෂංක, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂිත මනසිංහ.

පාකිස්තාන ටෙස්ට් සංචිතය: බබාර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන් (උපනායක, කඩුලු රකින්නා), ආමිර් ජමාල්, අබ්දුල්ලා ෂෆීක්, අබ්රාර් අහමඩ්, හසන් අලි, ඉමාම් උල් හක්, මොහොමඩ් හුරේරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලි, ආගා සල්මාන්, සර්ෆ්‍රාස් අහමඩ් (කඩුලු රකින්නා), සවුද් ශකීල්, ෂහීන් ෂා අෆ්රිඩි, ෂාන් මසූඩ්.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *