ලොව අංක එකේ පාකිස්තානය ගෙදර යයි… සිංහයන්ට ජය…

HTML tutorial
Reading Time: 3 minutes

– ශ්‍රී ලංකාව 12 වැනි වරටත් ආසියානු එක්දින අවසන් සටනට
– දසුන් ප්‍රමුඛ කණ්ඩායම තවත් වාර්තාවක් අභියස

ලොව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ අංක එකේ තවමත් වැජඹෙන පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකාව අනිද්දා (17) ඉන්දියාව සමඟ පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටනට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ විදුලි ආලෝක ධාරා මැද පැවති තීරණාත්මක තරගයේදී පාකිස්තානය කඩුලු 2කින් පරදවා ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් වාර්තා කළේය. අවසන් පන්දු 12දී ජයග්‍රහණයට ලකුණු 12ක් ලබාගත යුතුව තිබූ අතර, අවසන් ඕවරයේදී ජයග්‍රහණයට ලකුණු 8ක් අවශ්‍ය විය. තරගය එන්න එන්නම උණුසුම් වෙද්දී අවසන් පන්දුවේදී ලකුණු 2ක් ලබාගත යුතුව තිබූ අතර, සමාන් ඛාන්ගේ අවසන් පන්දුවට චරිත් අසලංක ‘ග්ලාන්ස්’ කිරීමකින් එම ලකුණු 2 ලබා ලක්මාතාවට ජයග්‍රහණයේ මල්දම පැලඳ වූවේය.

වසර 1984දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වූ ආසියානු කුසලාන එක්දින තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ 12 වැනි අවස්ථාව මෙය වූ අතර, එයින් අවස්ථා 5කදීම සිංහයෝ ලක්මාතාව සන්තකයේ රත්තරං ආලේපිත ආසියානු කුසලානය සුරැකිව තැබූහ. පසුගිය වසරේදී දසුන් ශානකගේ නායකත්වයෙන් ඩුබායිහිදී ආසියානු කුසලාන විස්සයි20 ශූරතාව ශ්‍රී ලංකාව දිනාගත් හෙයින් මෙවර එක්දින තරගාවලියේ ජයග්‍රහණය ද ලබා ගැනීමේ ස්ථීර අධිෂ්ඨානයකින් ශ්‍රී ලංකා පිල පසුවේ. එම උදාර අරමුණ සාක්ෂාත් වුවහොත් විස්සයි20 හා එක්දින යන ආකෘති දෙකේම ශූරතාව දිනා ගැනීමේ වාර්තාව දසුන් ප්‍රමුඛ ශ්‍රී ලංකාව කණ්ඩායම ඉදිරියේ ලියැවෙන ඓතිහාසික සටහනක් වනු ඇත.

අවස්ථා 3කදී ඇද හැලුන වර්ෂාව හේතුවන් පැය 2යි මිනිත්තු 15ක කාලයක් අපතේ ගිය අතර, තරගයේ එක් ඉනිමක් ඕවර 42කට සීමා කෙරිණි. පාකිස්තානය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී කඩුලු 7කට ලකුණු 252ක් රැස් කළ අතර, පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල කඩුලු 8කට ලකුණු 252ක් ලබා ගත්තේය.

අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් සතර අතට ප්‍රහාර එල්ල කරමින් තම එක්දින ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකයට ලකුණු 9ක් අඩුව තිබියදී දැවී ගිය අතර, ඔහු පන්දු 87කදී හයේ පහරක් හා හතරේ පහර 8ක් සමඟ අගනා ලකුණු 91ක් රැස් කිරීමට සමත් විය. නායක දසුන් ශානක ලකුණු 2කට දැවී ගිය අතර, අවශ්‍යම මොහොතේ ප්‍රතිවාදීන්ගෙන් ලකුණු සොරා ගත් චරිත් අසලංක පන්දු 47කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 49ක් ලබා ගැනීමට සමත් විය. පාකිස්තාන පන්දු යවන්නන්ගේ විවිධාකාර පන්දු සංකලන හමුවේ ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී මාවතට යොමු කිරීමේ ගෞරවය ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට මෙන්ම කුසල් මෙන්ඩිස්ට, සධීර සමරවික්‍රමට හා චරිත් අසලංකට හිමිවිය යුතුය. කුසල් පෙරේරා හා සධීර සමරවික්‍රම තෙවැනි කඩුල්ලට පන්දු 98කදී ලකුණු 100ක් එක් කිරීමෙන් ස්ථාවර අඩිතාලමකට පිවිසියහ. සධීර, ඉෆ්තිකාර් අහමඩ්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුලු රකින රිස්වාන් ‘ස්ටම්ප්’ කිරීමකින් දැවී යද්දි පන්දු 51කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 48ක් ලබා සිටියේය.

ඕනෑම සුපිරි වේග පන්දු යවන්නකුට වුවද අභීතව මුහුණ දෙන, ඊයේ තරගයේදී දැඩි විශ්වසනීයත්වයකින් යුතුව දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් සිටියදී කුසල් ජනිත් පෙරේරා දුවද්දී දැවී ගියේය. කුසල් ජනිත් වම් ඉන්න කෙළින් වැටුණ පන්දුවට පහරක් එල්ල කිරීමේදී අනෙක් අන්තයේ සිටි පැතුම් නිශ්ශංක ඉක්මන් ලකුණකට දුවද්දී කුසල් තරමක් පසුබට වී දෙගිඩියාවෙන් යුතුව අනෙක් අන්තයට දිව ගියේය. හිසරදයක්ව සිටි කුසල් ඉලක්ක කරගෙනම ශදාබ් ඛාන් පන්දුව කඩුල්ලට විසි කිරීමෙන් පළමු දැවී යෑම වාර්තා විය. එවිට කුසල් ජනිත් පන්දු 8කදී හතරේ පහර 4ක් සමඟ වේගවත් ලකුණු 17ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල ශදාබ් ඛාන් යැවූ පන්දුවකට ඔහු වෙතටම උඩ පන්දුවක් දුන් පැතුම් නිශ්ශංක ලකුණු 29කට දැවී ගිය අතර, ඔහු වෙනදාට වඩා වෙනස් ආකාරයේ පිතිකරණයකින් පන්දු 44කදී හතරේ 4ක් එල්ල කළේය.

පාකිස්තානය පන්දුවට පහරදීමේදී තම සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු අබ්දුල්ලා සෆීක් මංගල අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 69කදී හයේ 2ක් හා හතරේ 2ක් සමඟ ලකුණු 52ක් එක්කළ අතර, තම 12 වැනි අර්ධ ශතකය වාර්තා කළ මොහොමඩ් රිස්වාන් පන්දු 73කදී හයේ 2ක් හා හතරේ 6ක් සමඟ නොදැවී ලකුණු 86ක් ලබා පාකිස්තාන ඉනිමට ජීවයක් එක් කළහ.

නායක බාබර් අසාම් ලකුණු 29ක් හා ඉෆ්තිකාර් අහමඩ් පන්දු 40කදී හයේ 2ක් හා හතරේ පහර 4ක් සමඟ වේගවත් ලකුණු 40ක් ලබා ගත්හ. 6 වැනි කඩුල්ලට මොහොමඩ් රිස්වාන් හා ඉෆ්තිකාර් අහමඩ් පන්දු 78කදී ලකුණු 108ක් ලබා ගැනීම හේතුවෙන් ලකුණු පුවරුව වේගයෙන් ඉහළට ඇදී ගියේය.

ශ්‍රී ලංකා පිලේ ආදේශන දෙකක් සිදුවූ අතර ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න වෙනුවට කුසල් ජනිත් පෙරේරා හා කසුන් රාජිත වෙනුවට ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමට එක්ව සිටියහ. පාකිස්තාන පිලේ ආබාධයට ලක්වූ නෂීම් ෂා හා හාරිස් රවුෆ් යන දෙදෙනා සමඟ ෆාහිම් අෂ්රෆ්, අගාර් සල්මාන්, ෆකාර් සමාන් ක්‍රීඩා නොකළ අතර, ඒ වෙනුවට මොහොමඩ් හාරිස්, සවුද් ෂකීල්, මොහොමඩ් නවාස්, මොහොමඩ් වසීම් හා සමාන් ඛාන් කණ්ඩායමට එක්ව සිටියහ.

 

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *