මානසිංහ දකුණු අප්‍රිකා ඉනිම සුනු විසුණු කරයි…

HTML tutorial
Reading Time: < 1 minute

පන්දුවාර 10ක් තුළ කඩුලු 5ක් දවා ගත් දකුණත් පිටදඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මානසිංහගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිම ඊයේ (13 වැනිදා) දිනයේ දී ලකුණු 131 කට සීමා විය.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන මෙම සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව ලකුණු 325 ක් රැස් කළ අතර ඒ අනුව දකුණු අප්‍රිකා ඒ ක්‍රීඩකයෝ ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 194 ක් පිටුපසින් සිටිති.

ලක්ෂිත මානසිංහ ඊයේ ප්‍රදර්ශනය කරනු ලැබුවේ සිය ක්‍රිකට් ජීවිතයේ ‘ඒ’ කාණ්ඩයේ තරගයක හොඳම පන්දු යැවීම වූ අතර මීට පෙර ඔහුගේ ඉහළම දක්ෂතාවය වී තිබුණේ ලකුණු 16 කට කඩුලු 4ක් දවා ගැනීමයි.

වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ දකුණු අප්‍රිකා කණ්ඩායමේ දැවී ගිය පළමු කඩුලු 4 න් කඩුලු 3කට වග කියූ අතර මේ වමත් වේග පන්දු යවන්නාගේ ඊයේ දිනයේ දක්ෂතාවය සටහන වූයේ පන්දුවාර 9 කදී ලකුණු 31 කට කඩුලු තුනක් ලෙසිනි.

ලක්ෂිතට සහ මධුසංඛට සහාය වූ ලසිත් ඇඹුල්දෙනිය දකුණු අප්‍රිකා ඉනිමේ කඩුලු දඩයම අරඹමින් ලකුණු 61 කට කඩුලු දෙකක් දවා ගත් අතර ඒ සඳහා ඔහුට පන්දුවාර 17 ක් වැය විය.

මානසිංහ සිය කඩුලු 5 පන්දුවාර 10ක් තුළ දී දවාගත් අතර දකුණු අප්‍රිකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ මැතිව් බී්‍රට්ක්ස් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 59ක් ලබා ගත්තේය.

පන්දු 93 ක් පුරා නොදැවී කඩුල්ලේ රැඳී සිටි අංක 3 පිතිකරු මැතිව්ට පසුව දකුණු අප්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ලකුණු 19ක් ලැබූ කීගර් පීටර්සන් වේ.

දකුණු අප්‍රිකා ඉනිම පන්දුවාර 40 කට සීමා වූ අතර ඔවුන් සියලු දෙනා දැවී යෑමෙන් පසු පල්ලෙකැලේ පිටියට ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය ඊයේ දිනයට නිමාවිය. අද තරගයේ තෙවැනි දිනයයි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා ‘ඒ’ 325/10 – දකුණු අප්‍රිකා ‘ඒ’ 131/10

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *