පාපන්දු නිලවරණය කඩිනමින්… ඇමැති කමිටුවකුත් පත් කරයි…

HTML tutorial
Reading Time: 2 minutes

ශ්‍රී ලංකාවට පනවා ඇති අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත් කර ගැනීමේ පළමු පියවර ලෙස පාපන්දු නව ව්‍යවස්ථාව අනුව නිලවරණය කඩිනමින් පැවැත්වීම උදෙසා පාපන්දු පරිපාලන කමිටුවක් පත් කරයි. මේ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අත්සනින් ඊයේ නිකුත් වූ අතර, එහි සභාපති ලෙස ඒ.සී.ජී. දේශප්‍රිය මහතා නම් කොට තිබේ. කමිටු ලේකම් එන්.කේ. කපුරුබණ්ඩාර මහතා හා භාණ්ඩාගාරික කේ.ඒ.ආර්.සී. කහඳවෙල මහතා පත් කොට ඇත. සභාපති ලෙස නම් කොට ඇති ඒ.සී.ජී. දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනිසුරු කමිටු අධ්‍යක්ෂවරයා වීම විශේෂත්වයකි.

මේ පරිපාලන කමිටුව යටතේ පැවැත්වෙන නිලවරණයේදී පත්වන නිලධාරී මණ්ඩලයේ ධුර කාලය වසර 4ක් විය යුතු බවත්, පාපන්දු මහ ලේකම් හෝ ප්‍රධාන විධායක යන තනතුරු පත් කිරීමේදී නව ව්‍යවස්ථාව අනුව කටයුතු සිදුවිය යුතු බවත්, පසුගිය වසරේ සැප්තැම්බර් 22 දින ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සම්මත කළ නව ව්‍යවස්ථාව අනුව නව විධායක සභාව නිලවරණයකින් පත්කළ යුතු බවත් ගැසට් නිවේදනයෙන් නියෝග කොට ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට පනවා ඇති ලෝක පාපන්දු තහනම ඉවත් කරනතුරු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග කාලසටහනට ශ්‍රී ලංකා පාපන්දු පිල ඇතුළත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ආරම්භවීමට පෙර ශ්‍රී ලංකාව නව පාපන්දු පරිපාලනය ස්ථාපිත කර ගැනීමේ පොරොන්දුවට යටත්ව ශ්‍රී ලංකාව තරග කාලසටහනට ඇතුළත් කොට ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව තුනෙන් දෙකක වැඩි බහුතරයකින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී හිටපු සභාපති ජස්වර් උමර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ මහ සභා රැස්වීමේදී සම්මත විය. වත්තල ප්‍රදේශයේ හෝටලයකදී සම්මත වූ එම නව ව්‍යවස්ථා කටයුතු නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයෝ තිදෙනෙක් ද සහභාගි වී සිටියහ.

මේ අතර හිටපු පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා පවසන්නේ ලෝක පාපන්දු තහනම ඉවත් කර ගැනීම උදෙසා ලබාදිය හැකි උපරිම සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවත්, ශ්‍රී ලංකා පාපන්දුව ඉහළට එසැවීම සදහා කැපවී කටයුතු කරන බවත්ය. ඒ සඳහා පාපන්දු ක්‍රීඩාවට ලැදි සියලු පාර්ශ්ව කොන්දේසි විරහිතව එක්වී සහයෝගය පළ කළ යුතු බව ඒ මහතා සඳහන් කළේය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Comments
  1. Ivey_E

Post a new comment

Your email address will not be published. Required fields are marked *