පාපන්දු ඡන්දයට පොදු අපේක්ෂකයෙක්…

HTML tutorial
Reading Time: < 1 minute

ජාත්‍යන්තර තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන සැප්තැම්බර් මස 24 දා පැවැත්වීමට හා නාම යෝජනා භාර ගැනීම මේ මස 19 වැනිදා පස්වරු 3ට අවසන් කිරීමට කොළඹ පදනම් ආයතනයේ දී පෙරේදා (14) පැවති විශේෂ මහා සභා රැස්වීමේදී තීරණය කරයි. රට පුරා පාපන්දු ලීග් 67ක සහභාගීත්වයෙන් මේ විශේෂ මහා සභා රැස්වීම පැවති අතර, එහිදී නිලවරණ කමිටුව හා අභියාචනා කමිටුව අනුමත කර ගැනීම සිදු විය.

මෙවර නිලවරණයේදී පාර්ශ්ව කිහිපයක එකතුවෙන් පොදු අපේක්ෂකයකු ලෙස හිටපු සභාපති ජස්වර් උමර් මහතා සභාපති තනතුරට ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ. ජස්වර් මහතාගේ කණ්ඩායමේ උප සභාපතිවරු ලෙස හිටපු සභාපති, පාපන්දු හිටපු මූල්‍ය කමිටු සභාපති රංජිත් රුද්‍රිගු හා හිටපු උප සභාපති වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරු නාමයෝජනා භාර දීමට සූදානමින් සිටිති. මෙවර සභාපති තනතුරට අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතා ඉදිරිපත්වන බව කලින් ප්‍රකාශ කර තිබිණි. මේ හේතුවෙන් සභාපති තනතුරට නාමයෝජනා දෙකක් අපේක්ෂා කෙරේ.

නිලවරණ මෙහෙයුම් කමිටුවට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්. මජීඩ්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී උපාලි ගුණසේකර යන මහත්වරුන් විශේෂ මහා සභා රැස්වීමේදී පත්කරගත් අතර, අභියාචනා කමිටුවට විශ්‍රාමික විනිසුරු සරත් කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ නිතීඥ හිජාස් හිස්බුල්ලා හා ජ්‍යෙෂ්ඨ නීතිඥ චමත් ජයසූරිය යන මහත්වරුන්ගේ නම් යෝජනා කෙරිණි. මෙහිදී අභියාචනා කමිටුව සම්බන්ධයෙන් ඇතිවූ අදහස් අනුව මත විමසුමක් සිදු කළ අතර, එහිදී වැඩි ඡන්ද 63කින් එම අභියාචනා කමිටු නාම ලේඛනය අනුමත විය. පොල්ගහවෙල, වෙන්නප්පුව, ජනසතු සේවා හා වත්තල පාපන්දු ලීග් නියෝජිතයෝ පමණක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර අනෙක් ලීග් නියෝජිතයෝ අත් ඔසවා කැමැත්ත පළ කළහ.

පසුගිය වසරේ සැප්තැම්බර් 22 දා වත්තලදී සම්මත කර ගත් නව ව්‍යවස්ථාව අනුව නිලවරණය පැවැත්වීමට නියමිත අතර, මේ 29 දා පිළිගත් නාමයෝජනා ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය. නාමයෝජනා සම්බන්ධ අභියාචනා විභාග කිරීමෙන් පසු නිලවරණයට ඉදිරිපත්වන අවසන් ලේඛනය ලබන මස 4 වැනිදා ප්‍රසිද්ධ කිරීමට නියමිතය. පෙර පැවති පාපන්දු නිලවරණවලදී බෙදී වෙන්වී සිටි පාර්ශ්ව එක්ව මෙවර පාපන්දු නිලවරණය සාර්ථක කර ගැනීමට අත්වැල් බැඳ ගැනීම විශේෂත්වය වේ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *