නව කැලණි රන් පිවිසුමේ කෝටි 28 බොරුව කිව්වේ කවුද? මොකටද?

HTML tutorial
Reading Time: 3 minutes

රටේ සංවර්ධනය හා අනාගත සුබසිද්ධිය උදෙසා පැවති හා පවතින රජයන් විසින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. මේ සඳහා බොහෝවිට විය හියදම් කොට ඇත්තේ විදේශීය ණය පදනමට ලබාගත් මුදල්ය. මහජනතාවගේ භාවිතය හා පහසුව සඳහා කළ ඉදිකිරීම් හා නිර්මාණ පරිපාලනය රාජ්‍ය ආයතන සතු වගකීමක් වුවද ඒවා රැකගැනීම සහ මනාව භාවිත කිරීම මහජනතාවගේද වගකීමකි.

එවැනි වගකීම් සහගත හැසිරීමක ජනතාව කටයුතු නොකළ බව පෙන්වන ආසන්නතම සිදුවීම මාධ්‍ය ඔස්සේ හෙළිකර තිබුණේ නව කැලණි පාලමේ ඇණ මුරිච්චි ගැලවූ බව කියන ප්‍රවෘත්තිය සමගිනි. ඇණ මුරුච්චිවලට අමතරව තඹ කම්බිද ගලවා ඇතැයි කී ප්‍රවෘත්තිය හෙළිකළේ මේවායේ වටිනාකම රුපියල් කෝටි 28 ඉක්මවා ඇති බවකි. උගත්කමක් නැතත් යම් බුද්ධියක් සාමාන්‍ය දැනුමක් ඇති අයකු මෙවැනි සොරකමක් නොකරනු ඇත. එහෙත් මතට හා මත්කුඩුවලට ඇබ්බැහි වූ පුද්ගලයන් විසින් මෙකී සොරකම් කරන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.

කෝටි 28ක ඇණ ගැලවූ බව කියන සිදුවීම විවිධ මාධ්‍ය ඔස්සේ මෙන්ම පාර්ලිමේන්තුවේද දැඩි කතාබහට ලක්විය. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්නකොට තිබුණේ ”කෝටි 28ක යකඩ කියන්නේ කිලෝවලින් නම් හැත්තෑ හත් ලක්ෂයක්. ඒ කියන්නේ ඇණ පහළොස් ලක්ෂයක් ගලවලා. දිනකට ඇණ සීයක් ගැලෙව්වොත් ඉවර කරන්න අවුරුදු 21ක් යනවා. දවසකට ඇණ 1300ක් ගැලෙව්වොත් දවස් 599ක් කුඩ්ඩො ඇණ ගලවන්න ඕන. උදේ හයේ ඉඳලා හවස 6 වෙනකම් කුඩ්ඩො ඇණ ගැලෙව්වත් දවසට ඇණ දහයයි ගලවන්න පුළුවන්.” යැයි කියමිනි.

මේ අයුරින් ප්‍රශ්න කිරීම සඳහා ඇණ මුරිච්චි ගැලවූ කතාවක් සමාජගත කළේ ඇතැම් මාධ්‍ය විසින් පමණක්ද? යම් රජයේ ඉහළ නිලධාරියකු විසින් එවැනි කරුණක් හෙළි කළේද? නැතිනම් යම් දේශපාලන වාසියක් හෝ වෙනත් ව්‍යාපාරික හෝ මූල්‍ය ලාභයක් අපේක්ෂාවෙන් මෙකී කරුණ මතු කළේද? ප්‍රශ්නයකි. නව කැලණි පාලම සහිත අධිවේගී මාර්ගය සඳහා භාවිත කළ සෑම ඇණයක්ම නවීන යන්ත්‍ර භාවිතයෙන් සවිකළ ඒවාය. මේවා කෙනකුගේ අතැඟිලිවලින් හෝ ගෘහ භාවිතයේ ඇති අඬු මිටි උපකරණවලින් ගැලවිය නොහැක.

මෙම අසාමාන්‍ය පුවත සම්බන්ධව අප කළ සොයාබැලීමේදී කරුණු විමසීම සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගෙන් විමසුවෙමු. ඒ මහතා පැවසුවේ කැලණි පාලම ආශ්‍රිත අධිවේගී මාර්ගයේ විදුලි රුහැන්, තඹ කම්බි ආරක්ෂිත දැල් වැනි උපකරණ අවස්ථා කිහිපයකදී සොරාගෙන ඇති බව හෙළිවී තිබුණත් ඇණ මුරුච්චි ගලවා නොමැති බවකි. මේ පිළිබඳව පොලීසියට පැමිණිලි යොමුකර ඇති බවත් මීට ඉහතදී පොල්දූව පාලමේ හා දෙමටගොඩ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේත් ඇණ ගලවා ඇති බවටද වාර්තා වූ බවත් ඔහු පැවසීය.

ජපන් රජයේ ණය ආධාර මත ඉදිකළ ”කල්‍යාණී රන් පිවිසුම” හෙවත් (Golden gate kalani) ලෙස නම්කළ නව කාලණි පාලම පිළිබඳ ව්‍යාපෘති අධ්‍යක්ෂ හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම්) ඉංජනේරු දර්ශිකා ජයසේකර මහත්මිය මෙසේ කීවාය.

”ඇත්තට කැලණි පාලමේ ඇණ ගලවලා නෑ. එහෙම කතාවක් කවුරු කීවාද දන්නේ නෑ. නමුත් යම් යම් සොරකම් සිදුවෙලා තිබෙනවා. පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ සමයේ පවා මෙතැන සොරකම් සිදුවෙලා තිබුණා. පාලමට අදාළව සන්නිවේදන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. එතැන වායුසමීකරණවල කෑලි පවා ගලවා තිබුණා. එතැන සිට පාලම දක්වා විදුලිය යවන කේබල් කපලා තිබුණා. මේ ගැන පොලීසියට පැමිණිලි කළා. පොලිස් මුරපොලක් ස්ථාපිත කරන්න ඉල්ලුවා. ඊට අමතරව පොලිස් ජංගම සංචාර සිදුකරනවා. ඒ නිසා සොරකම් අඩුවුණා. තව පොළව යට තියෙන බට කඩලා. අධිවේගී මාර්ගය යට ප්‍රධාන පාරේ වතුර බැසීම සඳහා ඇති කාණුවල ඉහළින් වසා ඇති යකඩ පියන් සොරකම් කරලා. මේවා නැවත හදන්න විශාල වියදමක් යනවා. මේ පිළිබඳ පැමිණිලි කරනකොට රුපියල් මිලියන 4ක බඩු සොරකම් කරලා තිබුණා. මේ පිළිබඳව පොලිස්පතිවරයා දැනුම්වත් කර පැමිණිලි කිරීමට කටයුතු කළා.”

අධිවේගී මාර්ගයේ ස්ථාපිත කළ විදුලි රුහැන් කපා ගැනීම නිසා මේ වනවිට කැලණි පාලමට අයත් අලංකාර විදුලි බල්බ දැල්වීමට නොහැකි වී ඇත. එමෙන්ම පෑලියගොඩ සිට දිවෙන කටුනායක අධිවේගී මාර්ගයේ ස්ථාපිත ප්‍රධාන විදුලි සැපයීමේ වයරයද කපාගෙන ගොස් ඇත. එහි වටිනාකම රුපියල් මිලියන 250ක් බවද වාර්තා වේ.

මෙසේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කරුණු ඉකුත් 11 වැනිදා රුස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කිරීමට මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇතුළු නිලධාරීන් පියවර ගෙන තිබිණ. ඒ අනුව අධිවේගී මාර්ගය සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයිය යුතුව ඇති බවට මාර්ග සංවර්ධන අධිකාරිය හා මහාමාර්ග අමාත්‍යංශ බලධාරීන් පෙන්වා දී තිබේ.

දැනට අධිවේගී මාර්ග පොලීසිය විසින් පොලිස් මුරපොළක් පවත්වාගෙන යන අතර පෑලියගොඩ පොලිසිය විසින් ජංගම සංචාරයක් ක්‍රියාත්මක කොට ඇත. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යංශය මැදිහත්වීමෙන් මේ සඳහා ස්ථීර ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *