ජනිඳු ජාතික වාර්තාව දෙවරක් අලුත් කරයි… නව තරගාවලි වාර්තා 4ක් බිහි වෙයි…

HTML tutorial
Reading Time: 2 minutes

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ නිමා වූ 101 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජාතික වාර්තාවක් සමඟ නව තරගාවලි වාර්තා 4ක් බිහි විය.
පිරිමි මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේදී වෙළෙඳ සේවා මලල ක්‍රීඩා සංගමය නියෝජයන කළ ජනිඳු ලක්විජය පැය 18ක් තුළ එහි ජාතික වාර්තාව දෙවරක් අලුත් කිරීම කැපී පෙනිණි. පෙරේදා පස්වරු 3.30ට මේ ඉසව්වේ මූලික වටයේ තරගයට එක්වූ ජනිඳු ඊයේ පෙරවරු 9.30ට අවසන් තරගයට එක් විය.

මේ තරගාවලියේ බිහි වූ එකම ජාතික වාර්තාවට හිමිකම් කී ඔහු ඊයේ සිය ඉසව්ව තත්පර 13.72කින් නිමා කළ අතර, ඒ සමඟ ඔහු විසින් පෙරේදා පිහිටුවූ වාර්තාව මැකී ගියේය. මින් පෙර පසුගිය මාර්තු මස 20 වැනිදා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තත්පර 13.82කින් ජාතික වාර්තාව පිහිටුවා තිබූ ජනිඳු පෙරේදා සිය ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයේදී තත්පර 13.77ක කාලයක් වාර්තා කළේය. එය නව තරගාවලි වාර්තාවක් බවට ද පත් වූ අතර, වසර 2021දී යුද හමුදාවේ රොෂාන් රණතුංග තබා තිබූ තත්පර 13.89ක වාර්තාව බිඳ වැටිණි.
මේ අතර තරගාවලියේ වැඩි දෙනකුගේ අවධානයට ලක්වූ මීටර් 400 සහාය ඉසව්වල ආධිපත්‍ය පැතිරවීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙනිණි.
කාන්තා මීටර් 400 සහාය ඉසව්ව ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ මිනිත්තු 3:30.41 කාලයක් ගත කළ අතර, එහි පිරිමි තරගය ඉන්දීය ‘ඒ’ පිල ජය ගත්තේ මිනිත්තු 3:02.02කිනි.

කාන්තා තරගයේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා පිල හිමි කර ගත්තේ මිනිත්තු 3:37.07 කාලයක් වාර්තා කරමිනි. එහි තෙවැනි ස්ථානය ඉන්දු-ශ්‍රී ලංකා මිශ්‍ර කණ්ඩායමට හිමි වූ අතර, සිවුවැනි තැන මාලදිවයින් ක්‍රීඩිකාවෝ සතු වූහ.
පිරිමි ඉසව්වේ දෙවැනි ස්ථානය මිනිත්තු 3:02.06කින් ශ්‍රී ලංකා පිල සතු වෙද්දී තෙවැනි ස්ථානය ඉන්දීය ‘බී’ කණ්ඩායමට හිමි විය. ශ්‍රී ලංකා ‘ඒ’ සහ ‘බී’ කණ්ඩායම් සිවුවැනි සහ පස්වැනි ස්ථානවලට පත්වෙද්දී මාලදිවයින් පිල 6 වැනි ස්ථානයට පත් විය.

ඊයේ පැවති මීටර් 400 මිශ්‍ර ඉසව්ව මිනිත්තු 3:17.33කින් ජය ගැනීමට ඉන්දීය පිල සමත් වෙද්දී එහි දෙවැනි ස්ථානය ඉන්දීය ‘ඒ’ කණ්ඩායම (3:18.03) සතු විය. මිනිත්තු 3:19.99කින් තරගය නිමා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ තෙවැනි ස්ථානයයි.
මේ අතර පිරිමි මීටර් 400 ඉසව්වට එක් වූ යුද හමුදාවේ කාලිංග කුමාරගේ තත්පර 45.07කින් තරගය නිමා කළේ සිය හොඳම පෞද්ගලික දක්ෂතාව සමඟිනි. මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයකු වාර්තා කළ හොඳම දෙවැනි කාලය වන අතර, එය නව තරගාවලි වාර්තාවක් බවට ද පත් විය. එහිදී බිඳ වැටුණේ 2000 වසරේ රොහාන් ප්‍රදීප් කුමාර පිහිටුවා තිබූ තත්පර 45.25ක වාර්තාවයි.

මේ ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්වූ අරුණ දර්ශන තත්පර 45.45කින් තරගය නිමා කළ අතර, එය ඔහුගේ හොඳම පෞද්ගලික කාලය බවට ද පත් විය.
පිරිමි මීටර් 3000 බාධක දිවීමේ පිරිමි ඉසව්වෙන් සහ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඉන්දීය ක්‍රීඩකයන් සෙසු තරග වාර්තා පිහිටවූහ.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *