උතුරෙන් හමුදාව ඉවතට…

HTML tutorial
Reading Time: 3 minutes

උතුරු පළාතේ ස්ථාන හමුදා කඳවුරු ක්‍රමානුකූලව ඉවත් කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අද එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

2023 අගෝස්තු 9 දින ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතමින් උතුරු පලාතේ හමුදා කඳවුරු සඳහා අත්පත් කර ගත් ඉඩම් නිදහස් කිරීම ගැනත් කතා කළා. එතුමාට අනුව 2009 යුද්ධ්‍ය අවසන් වන විට හමුදා කඳවුරු පිහිටි යාපනයේ ඉඩම් ප්‍රමාණය අක්කර 26,812ක්. මේ වන විටත් එයින් අක්කර 22,919ක් නිදහස් කරලා ඉවරයි. ඒ කියන්නේ යුදමය අවශ්‍යතා හමුදා සතු කරගෙන තිබුණු ඉඩම් වලින් 85%ක්ම දැනටමත් නිදහස් කර ඉවරයි. දැන් හමුදාව සතුව තිබෙන්නේ උතුරු පලාතේ ආරක්ෂාව තහවුරු කරන්න අවශ්‍ය කරන හමුදා කඳවුරු පවත්වාගෙන යාමට අදාල ඉඩම් පමණයි. නමුත් ජනාධිපතිතුමාගේ බලපෑම මත තවත් අක්කර 377ක් ඉදිරි මාස හය ඇතුලත නිදහස් කරන්න හමුදාව එකඟ වෙලා තිබෙනවා. ඒ කියන්නේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය 87% දක්වා ඉහළ නගිනවා. නමුත් ජනාධිපතිවරයා දෙමළ ජාතික සංධානයේ දේශපාලකයන්ගේ මනදොල සපුරන්න තවදුරටත් හමුදා කදවුරු ඉවත් කරන්න කියලා බලපෑම් එල්ල කරනවා.

තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් හඳුනා ගන්න මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් ජූලි 5 දා කමිටුවක් පත් කරලා හමුදාවට දැඩි පීඩනයක් ගේනවා තවත් ඉඩම් නිදහස් කරන්න කියලා. ඒ කමිටුව තම වාර්තාව ජූලි 22 දාට භාර දිය යුතුයි. ඒ කියන්නේ නිදහස් කළ හැකි ඉඩම් හඳුනා ගන්න අවස්ථාව දීලා තිබෙන්නේ දින 17කටත් අඩු ගණනක්.

ගුවන් හමුදාවට සෑම විටම අහසේ ඉන්න බෑ. නාවික හමුදාවට සෑම විටම මුහුදේ ඉන්න බෑ. මේ සෑම අයටම කඳවුරු අවශ්‍යයි. ඒ සඳහා භූමිය අවශ්‍යයි. යුද්ධයට පෙරත් වැඩිම කඳවුරු ගණනක් තිබුණේ උතුරේ. ඒ නීති විරෝධි සංක්‍රමණිකයින් නීති විරෝධි භාණ්ඩ රට තුලට පැමිණෙන්නේ උතුරු පලාතෙන්. ඒ වගේම වසර 2,600ක් පුරා ලංකාව මුහුණ දුන් ආක්‍රමණ 21න් 17ක දීම ආක්‍රමණිකයා පැමිණ ඇත්තේ උතුරු පලාතෙන්. බෙදුම්වාදයක් පැන නැගුනේ උතුරු පලාතෙන්. එහෙම නම් හමුදා කඳවුරු වැඩිපුරම තිබිය යුත්තේ උතුරු පලාතේ මිස වෙන කොහේවත් නොවේ.

උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කර ගන්න ඕනි වෙලා තිබෙන්නේ දෙමළ දේශපාළුවන්ට මිස දෙමළ ජනතාවට නොවේ. ඒ නිසා තමයි පේදුරුතුඩුව කට්කෝලම්හි තිබෙන යුද හමුදා කඳවුර ඉවත් කරන්න ආණ්ඩුව තීරණය කලාම ඒ කඳවුර ඉවත් කරන්න එපා කියලා ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණය කලේ, හමුදා කදවුරට ලිපියක් බාරදුන්නේ. ජනතාව කිව්වේ හමුදා කඳවුර ඉවත් කලොත් අපට ආරක්ෂාව නැති වෙනවා. අපේ ගම ජාවාරම්කරුවන්ගේ තිප්පලක් වෙනවා කියලා. ඒ නිසා බෙදුම්වාදින්ගේ ත්‍රස්තවාදින්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මිනිස් ජාවාරම්කරුවන්ගේ මනදොල සපුරන්න උතුරෙන් හමුදාව ඉවත් කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.

ප්‍රංශය රහසේම ත්‍රිකුණාමලයට

ප්‍රංශ ආණ්ඩුව විසින් ත්‍රිකුණාමලයේ නාවික පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. ඔන්න ප්‍රංශ ජනාධිපතිගේ හදිසි ශ්‍රී ලංකා සංචාරයට හේතු වුණු රහස. අපට තිබෙන තොරතුරු අනුව ආරක්ෂක අමාත්‍යාංශය නිරීක්ෂණ ඉල්ලුවාම නාවික හමුදාව බොහොම ඉහලින් ඒක අනුමත කරලා. ජාතික බුද්ධි සේවාව නම් මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා විරෝධය පල කරලා තිබෙනවා. එක පැත්තකින් ඉන්දු – ලංකා සබඳතා වලට අහිතකරව බලපාවි කියන එක. අනිත් පැත්තෙන් මේක නරක පූර්වාදර්ශයක් වෙලා ඇමෙරිකාව, චීනය, එක්සත් රාජධානිය වගේ අනෙකුත් බලවතුන්ටත් කඳවුරු හදා ගන්න ඉඩ දෙන්න වේවි. ඒ නිසා ලෝක බලවතුන් එකිනෙකා ගැටෙන පුංචි ලෙබනනයක් බවට ලංකාව පත්වේවි කියන එකයි බුද්ධි අංශ පෙන්වා දී තිබෙන්නේ. අලි ගැටෙනවා අපි තැලෙනවා කියලා තමයි කියන්න වෙන්නේ.

අපි දකින විධියට මේ එන්නේ ප්‍රංශය නොවේ. නේටෝ ගිවිසුම හරහා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් බටහිරට නායකත්වය දෙන ඇමෙරිකාව. යුද විශේෂඥයින් කියන විධියට ඉදිරි සියවසේ ලෝකයේ බල කේන්ද්‍රය වන්නේ ඉන්දියානු සාගරය. මේක හඳුන්වන්නේ ආසියාවේ සියවස කියලා. ලොව නැගී එන සුපිරි බලවතුන් වන්නේ චීනය සහ ඉන්දියාව. එහි දී ඉන්දියානු සාගරයේ හරි මැද පිහිටි ලංකාව ලෝකයේ වැදගත්ම රට බවට පත් වෙනවා. ඒ නිසා ලංකාව තුල පදනමක් හදා ගන්න ලෝකයේ සෑම සුපිරි බලවතකුටම උවමනායි. ඇමෙරිකාව එක්සත් ජනපදය 2016 දී ඇක්සා, සෝෆා සහ එම්සීසී ගිවිසුම් හරහා ලංකාවට ඇතුළු වෙන්න උත්සාහ කළා. නමුත් අපි ස්ටොප් යූඑස්ඒ සංවිධානය බිහි කරලා ඒක වැලැක්වූවා. මේ රටේ දේශප්‍රේමින් ඇමෙරිකාවට දක්වන දැඩි විරෝධය නිසා ඇමෙරිකාව දැන් හදන්නේ ප්‍රංශ වෙස් මුහුණ බැඳගෙන ඇවිත් අපිව රවට්ටන්නයි. ඒ හැර ප්‍රංශයට ත්‍රිකුණාමලයේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට තාර්කික හේතුවක් නෑ. වෙස් මුහුණු බැඳන් ආවත් නෑ අපි රැවටෙන්නේ කියලා අපි ඇමෙරිකාවට කියමු.

– Media unit

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *