ඉන්දියාවේ බාල බෙහෙත්ද? මල්ශාලාවද? … සෞඛ්‍ය ලොක්කන්ගේ පැටිකිරිය මෙන්න…

HTML tutorial
Reading Time: 5 minutes

දශක ගණනාවක් පුරා ඇදී ගිය ත්‍රස්තවාදී යුද බියෙන් සහ ලෝක වසංගත භීතිකාවකින් බැට කෑ අපේ රටේ උදවිය, දැන් අලුත්ම භීතිකාවක ගොදුරක් බවට පත්ව ඇත්තෝය. ඒ රෝහල් ගතව ප්‍රතිකාර ලබාගැනීමට ඇති භීතිකාවයි. මෙවන් භීතිකාවක් පැතිර ගොස් ඇත්තේ සිය සෞඛ්‍ය සේවාව සහ රෝහල් පද්ධතිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව දියුණු රටක මට්ටමට ඉතා කෙටි කලකින්ම ඔසොවා තබාගත් රටක් වීම මෙහි ඇති දරුණුම ඛේදවාචකයයි. මේ රටේ රෝහල් පද්ධතිය තුළට “බාල බෙහෙත්” ඇතුළු වී ඇති බවට පැතිර ඇති සැකය මේ භීතිකාවට මූලික වූ හේතුවයි. මේ වසරේ මුල්කාර්තුව අග සිට ඖෂධ ලබාදීමෙන් පසු සිදු වූ බවට සැකකරන මරණ රුල්ලක් රටේ රෝහල් කිහිපයකින්ම වාර්තා වූයේය. ආසන්නතම මරණය පසු ගියදා කෑගල්ල රෝහලෙන් වාර්තාවිය. මේ මරණ සඳහා හේතුව මේ වනවිට හදිසි අවශ්‍යතා යටතේ රටට ගෙන්වා ඇති බාල බෙහෙත්ද යන මතයක්ද පැතිර ගියේය. මේ මතය සෞඛ්‍ය අංශ වලින්ම ඉදිරිපත්ව සමාජ ගතවූ අතර දැන් රෝහල් භීතිකාවක් බවට එය ඔඩු දුවා ජනගතව ඇත. මේ තත්ත්වය තවත් සංකීර්ණ වී ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් තවමත් බාල ඖෂධ සමාජගතව ඇති බව පිළිගැනීමට අකමැති වීමත් ඒ වෙනුවට විවිධ ගැලරි ප්‍රකාශ ඉදිරිපත් කරමින් රට පැටලීමත් නිසාය.

ලංකාවේ රෝහල් තුළට බාල ඖෂධ කාන්දු වීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමක් මීට කලකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම විද්වත් සෞඛ්‍ය වෘත්තිකයන් සහ සිවිල් සමාජ සංවිධාන මගින්ද ලබාදී තිබුණි. ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ආර්ථික අර්බුදය සමග  මතුවන්නට හැකි ඖෂධ හිඟය මුල් කරගෙන  සෞඛ්‍ය සේවාවද දරුණු කඩා වැටීමකට ලක්විය හැකි බවට රජයේ වෛද්‍යවරු අනතුරු ඇඟවූයේ “මේ බොර දියේ මාලුන් බාන්නට ඖෂධ මාෆියාව” ඉදිරිපත් වනු ඇති බවට අනාවැකි පල කරමිනි. දැන් මේ සිදුව ඇත්තේ ඒ අනාවැකි ඇස් පනා පිට සත්‍ය වීමය.

රට තුළ රෝහල් ආශ්‍රිත මරණ රුල්ලට මුල පිරුවේ ඇසට දමන ඖෂධ බිඳුවකි. ඇසේ ශෛල්‍ය කර්මයන්ගෙන් පසු ප්‍රතිකාර ලෙස ලබා දෙන ප්‍රෙඩ්නිසොලෝන් – Prednisolon, නමැති ඖෂධය භාවිතයෙන් පසු ජාතික රෝහලේ සහ නුවර එළිය දිසා රෝහලේ රෝගීන් 10කට ආසන්න පිරිසකගෙ ඇස් අන්ධ වූ බවට පැතිර ගිය ආරංචියත් සමගිනි. ජාතික ඖෂධ තත්ත්ව සහතික පර්යේෂණායතනය 2024 දක්වා කල් ඉකුත් වන දිනයක් සඳහන්ව තිබූ මේ ඖෂධ තොගය භාවිතයෙන් ඉවත්කරන්නට වහා උපදෙස්  ලබා දී තිබුණි. මෙය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ නිෂ්පාදකයකුගෙන් ලබාගෙන තිබූ ඖෂධ තොගයකි. පසුව මේ ඖෂධ දියර තුළ බැක්ටීරියා කාණ්ඩයක් ඇති බව සොයාගත් බව අතිරේක සෞඛ්‍ය ලේකම්වරයා මාධ්‍යයට කීවේය.

රට තුළ ආන්දෝලනයක් මතුකළ ප්‍රධාන පුවත් වූයේ පේරාදෙණිය රෝහලේදී ගර්භණී මාතාවක් සහ විදුහල්පතිනියක් මියයාමේ සිද්ධි වාර්තා වීමයි. මේ මරණ වාර්තා වී තිබුනේ ඔවුන්ගේ ශෛල්‍යකර්මවලට නිර්වින්දක ලබාදීමෙන් පසුවය. සිය ඇසේ යොදා තිබූ කාචය මාරුකර ගන්නට ගිය 35 හැවිරිදි කාන්තාවක්ද ජාතික අක්ෂි රෝහලේදී මියගොස් තිබුණි. මේ අතර පාණදුර රෝහලේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවකයෙක් මියගොස් තිබුණේ කැන්‍යුලාවක් යෙදීමෙන් පසුවය. මේ සියලු සිදුවීම් අතර ඉතා මෑතක වාර්තා වූ රට කැළඹු තවත් සිද්ධියක් වූයේ උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි තරුණියක බහුලව භාවිතා වන ප්‍රතිජීවක ඖෂධයක් එන්නත් කිරීමෙන් පසු මියයාමය. පසුව එම රෝහලේදීම මේ එන්නත ලබාදුන් තවත් දෙදෙනෙකුට ආසාත්මිකතා ලක්ෂණ හටගත් බව වාර්තා වීමත් සමඟ මේ එන්නත සම්බන්ධ සැකය ඉහළ ගියේය. මේ සමග තවත් මරණ සහ ආසාත්මිකතා පිළිබඳ දිවයින පුරා වාර්තා නිකුත් වන්නට විය. ඉකුත් බ්‍රහස්පතින්දා කෑගල්ලෙන් වාර්තාවූ මරණයටද මේ එන්තම වගකිවයුතු දැයි සැක මතුව තිබේ. මේ සියලු මරණ සහ ආසාත්මිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හෝ සැක පහළ වී ඇති ඖෂධ සියල්ල ඉන්දියානු නිෂ්පාදකයන් වෙතින් මේ රටට ගෙන්වා ගත් ඒවාවීම විශේෂයකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය NMRA මේ ඖෂධ ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් වගකීමට බැඳී ඇති ප්‍රධාන ආයතනයයි. ඒ තුළ මේ දිනවල ක්‍රියාකාරකම්  සිදුවන ආකාරය බොහෝ සැක සංකාවන්ට මං පාදා තිබේ.

ජාතික අක්ෂි රෝහලේ මෑතක සිදු වූ 32 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතු වූ බවට සැක කෙරෙන දැනට තාවකාලිකව  භාවිතය නවතා ඇති  ප්‍රපොෆොල් – Propofol නමැති නිර්වින්දකය තුළ ආගන්තුක අපද්‍රව්‍ය ඇති බව පසුව නිරීක්ෂණය කර ඇති අතර එය ගෙන්වා ඇත්තේද ඉන්දියාවෙනි. ශෛල්‍ය කර්මයකින් පසු මතු වූ සංකූලතා හේතුවෙන් ජූනි මසදී මියගිය විදුහල්පතිනියත් එයට පෙර අප්‍රේල් මසදී මියගිය ගර්භනි මාතාවගේ මරණයත් සඳහා මූලික වූ බවට සැක කෙරෙන නිර්වින්දකය වන bupivacain ගෙනැවිත් ඇත්තේද ඉන්දියානු නිෂ්පාදකයකු වෙතිනි. දැන් මේ ඖෂධ සහ ඒවා නිපැයූ සමාගම් ගැන ඉන්දියානු ඖෂධ අධිකාරියද CCDSCO පුළුල් පරීක්ෂණ අරඹා ඇත.

ගෝලීය වශයෙන් විශාලතම ඖෂධ සපයන්නකු වන ඉන්දියාව දැනට නිෂ්පාද පරිමාව අනුව ඖෂධ නිෂ්පාදනයේ තුන්වැනි ස්ථානයට පත්ව සිටී. එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලනයට (USFDA) අනුකූල වන ඖෂධ නිෂ්පාදන පහසුකම් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියාව සතුය. ඉන්දියානු ඖෂධ අංශය විවිධ එන්නත් සඳහා ගෝලීය ඉල්ලුමෙන් 50%කටත්, එක්සත් ජනපදයේ සාමාන්‍ය ඉල්ලුමෙන් 40%කටත්, එක්සත් රාජධානියේ සියලුම ඖෂධවලින් 25%කටත් වඩා සපයයි. එරට දේශීය ඖෂධ කර්මාන්තයට ඖෂධ සමාගම් 3,000ක ජාලයක් සහ නිෂ්පාදන ඒකක 10,500ක් ඇතුළත් වේ. කරුණු මෙසේ වුවද ඉන්දියාවේ සාමාන්‍ය නිවාස තුළත් බෙහෙත් ඇසුරුම් කරන බවට පැතිර ඇති කතාව සිහිපත් කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෛද්‍ය චමිල් විජේසිංහ පෙන්වා දෙන්නේ ඒ රටේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය ගැන සැක පළ කෙරෙන ඒ කියමන තහවුරු කරන්නට මෙන් පසුගිය කාලය තුළ ඉන්දියානු ඖෂධ කිහිපයක් අහිතකර භාවය නිසා ඉන්දියාව තුළ මෙන්ම විවිධ රටවල තහනමටද ලක්ව තිබූ බවය. අප රට තුළට ඇතුළු වී ඇත්තේද මෙවන් අහිතකර ඖෂධ නිෂ්පාදන බව දැන් සැක කළ හැකිය.

මේ ඖෂධ රටට ඇතුළු වීම සඳහා දොරටුව නිර්මාණය වී ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔස්සේ බවට දැන් චෝදනා එල්ල වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලංකාව තුළ ප්‍රශ්න  මතුකළ නිර්වින්දක සහ ප්‍රතිජීවක ඇතුළු ඖෂධ ගෙන්වා ඇත්තේ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ 109 වගන්තිය දඩමීමා කර ගනිමින් බව රජයේ වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. මේ වගන්තිය යටතේ ජාතික හදිසි අවශ්‍යතාවන් මත, මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත අධිකාරියේ ලියාපදිංචියකින් තොරව ඖෂධ වෛද්‍ය හා ශෛල්‍ය උපකරණ ඕනෑතරම් ගෙන්වීමට අවස්ථාව සැලැසී ඇත. මේ හේතුවෙන් ගුණාත්මක බවින් සහ සඵලතාවයෙන් ඉහළ ඖෂධ පමණක් ගෙන්වීමට නියාමන අධිකාරියට ඇති දොරටුපාලක බලය තාවකාලිකව හෝ හෑල්ලුවට ලක්කරමින් තත්ත්වයෙන් බාල මෙන්ම අත්‍යවශ්‍ය නොවන ඖෂධ පවා ගෙන්වීමට මේ වගන්තියේ ආවරණය ලබාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. අධිකාරියේ ලියාපදිංචිය රහිතව ඖෂධ ගෙන්වීමට හැකි (WOR) මේ ක්‍රියාවලිය යටතේ ගෙන්වන ඖෂධ පරීක්ෂාවට ලක්කිරීමේ වගකීම පවා මේ NMRA ආයතනය සතු නමුදු දැන් ඔවුන් එයද මඟහැර ඇති අතර මෑතක සිට ගෙන්වන ඖෂධයන්හි ක්‍රියාකාරීත්වය ගැන වගකීමෙන් නිදහස් වීමටද පියවර ගෙන ඇත. මෑතකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය NMRA ක්‍රිකාරීත්වයේ ඇති අඩුලුහුඬු ගැන ජනාධිපතිවරයාද ලිඛිතව දැනුවත් කර තිබුණි.

මේ වනවිට අධිකාරියේ පාලක මණ්ඩල සාමාජිකත්වයට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු ඖෂධවේදය පිළිබඳ විද්‍යාත්මක පුහුණුවක් සහිත මහාචාර්ය ධුරය තාම පුරවා නැත. ඒ අතරම අධිකාරියේ සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුහුණුව පවා ලද පළපුරුදු පැරුණි ඖෂධවේදීන් 23ක් ඉවත් කිරිමට කටයුතු කර තිබුණි. මේ සම්බන්ධයෙන් අප අධිකාරියේ සභාපතිවරයා හෝ ප්‍රධාන විධායකයා හෝ සම්බන්ධ කර ගනිමින් තතු විමසීමට උත්සාහ ගත් සැමවිටම ඔවුන් සිටියේ “මීටින්” වලය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනුව ගිය වසර තුළ පමණක් මේ WOR හෙවත් ලියාපදිංචිය අත්හැරීමේ ක්‍රමවේදය යටතේ 700ට වැඩි ඖෂධ ගණනකට රට තුළට ඇතුළුවීමට අවසර ලබාදී ඇත. මේ වසරේ මේ කාලය වනවිට 500කට වැඩි අවසර නිකුත්වතිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වින්යා ආරියරත්න පෙන්වා දෙන්නේ මෙහිදි WOR ක්‍රමවේදය අවභාවිතයේ යොදා ඇති බවය.මේ හේතුවෙන් මේ වනවිට රටට කාන්දු වී ඇතැයි සැකකෙරෙන  බාල බෙහෙත් හේතුවෙන් ජනතාවට තමන් ලබාදෙන ඖෂධ වල ගුණාත්මක භාවය සම්බන්ධ දෙගිඩියාවක් මේ වනවිට වෛද්‍ය විශේෂඥයන් තුළ පවා මතුව ඇති බවය. මේ වනවිට NMRA ආයතනය සතු පර්යේෂණාගාරය සඳහා දැනුම සහ පුහුණුව සහිත ඖෂධවේදියකු ගේ අවශ්‍යතාවද පවතින බව වෛද්‍ය සංගමය පෙන්වාදෙයි. මේ රටට ගෙන්වන ඖෂධ පරීක්ෂාව සඳහා තත්ත්වයෙන් උසස් අන්තර්ජාතික පර්යේෂණාගාරයක අවශ්‍යතාව ගැන රජයේ වෛද්‍ය නිලධාරින් ගේ සංගමය මේ අවස්ථාවේ නැවතත් අවධාරණය කරයි. බාල බෙහෙත් රටට කාන්දු වන සහ නොපෙනෙන ඖෂධ මාෆියාවට ඉඩ සලසන සිදුරු ලෙස ඔවුන් මේ ගැන පැහැදිලි කරදෙයි. මේ අඩුපාඩු හේතුවෙන් NMRA ආයතනය නැවත එය 2015ට පෙර පැවැතුණාක් බඳු සිය අධිකාරි බලය රහිත සිල්ලර ආයතනයක් බවට හෑල්ලු වන බව ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් ජනතාව තුළ රෝහල් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඇති විශ්වාසය පලුදු වී යන අතර නිදහස් සෞඛ්‍ය සේවය විනාශ වීමටද මෙය හේතුවක් ලෙස ඔවුන් අණතුරු අඟවයි.

මේ වනවිට සිදුවු මරණ සඳහා බෙහෙත් වල අසාත්මිකතාව බල පෑවේ ද යන්න ගැන සෙවීමට කමිටුවක් පත්කර තිබේ. නමුත් 109 වගන්තිය දඩමීමා කර ගනිමින් බාල බෙහෙත් රටට ගෙන්වීමේ  තිරය පසුපස භූමිකා ගැන විපරමක් සිදුවෙන හැඩක් නැත.

මේ බාල ඖෂධ ගෙන්වූ සමාගම් අසාදු ලේඛණ ගත කරනවාද? තහනම් කළ හෝ  නැවත කැඳවූ හෝ ඖෂධ වෙනුවෙන් වැයවූ මුදල් ඔවුන් නැවත ලබා දෙනවාද? මේ බාල බෙහෙත් හේතුවෙන් අගතියට ලක්වූ වින්දිතයන්ට වන්දියක් ගෙවනවාද? මේ ගැන සාධාරණ පිළිතුරක් දෙනු වෙනුවට ඇමැතිවරයා අනිත්‍යය සිහිපත් කරමින් රෝගීන්ට රෝහල අසළ ඇති මල් ශාලාව මතකයට නංවයි.

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *