ඉතිහාසයේ රනිං ලියැවුනු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ…

HTML tutorial
Reading Time: 2 minutes

ශතක 2ක් ලැබූ චමරිට දක්ෂතම ක්‍රීඩිකා සම්මානය
කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටම සබඳතාවේ වාර්තාව නිලක්ෂිට හා චමරිට

ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 3කින් සමන්විත කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිල පන්දු 13ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක ජයක් ලබා මෙම ඓතිහාසික සටහන එක් කළේය.

අන්තර්ජාතික කාන්තා එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ සිටින නවසීලන්ත කාන්තා පිල මෙලෙස පරාජයට පත් වූයේ එම ශ්‍රේණිගත කිරීමේ 10 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව අතින් වීම විශේෂත්වයකි.

අයිසීසී කාන්තා එක්දින ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 9ක ජයක් ලැබූ අතර, දෙවැනි තරගයේදී නවසීලන්ත කාන්තාවෝ ලකුණු 116ක ජයක් වාර්තා කිරීමට සමත් වූහ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවරිය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ශතක දෙකක් වාර්තා කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

තෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත ක්‍රිකට් නායිකා ෂොපී ඩෙව්නී ඇතුළු නවසීලන්ත කාන්තා පිල මුලින් පන්දුවට පහරදී කඩුලු 2කට ලකුණු 127ක් ලබා ගත්තාය. ඒ වෙද්දී ගාලු පිටියට අධික වර්ෂාවක් පතිත වීමෙන් තරගය තාවකාලිකව නවතා දැමුණි. යළි තරගය ආරම්භ කිරීමට පැය කිහිපයක් ගතවූ හෙයින් නවසීලන්ත පිලට වෙන්ව තිබූ පන්දුවට පහර දීමේ කාලය අවසන් වී තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදිය යුතු ඉලක්කය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ගණනය කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. ශ්‍රී ලංකා කාන්තා පිලට ජයග්‍රහණය උදෙසා ඕවර් 29කදී ලකුණු 196ක ඉලක්කයක් එල්ල විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2ක ලකුණු 5කට දැවී ගොස් තිබියදී ආරම්භක පිතිකාරිනිය චමරි අතපත්තු සමඟ එක් වූ නිලක්ෂි ද සිල්වා තෙවැනි කඩුල්ලට නොබිඳුණු ලකුණු 191ක සම්බන්ධතාවක් ගොඩනඟා ජයග්‍රහණය තහවුරු කළහ. එය ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැඟුණු හොඳම සම්බන්ධතාව ලෙස වාර්තා පොතට එක්විය. මෙම තරගාවලියේ පළමු එක්දින තරගයේදී විශ්මි ගුණරත්න හා චමරි අතපත්තු පළමු කඩුල්ලට ලකුණු 159ක සම්බන්ධතාවක් ගොඩනගා තිබිණි.

සතර අතට ප්‍රහාර එල්ල කළ චමරි අතපත්තු පන්දු 80කදී හයේ පහර 9ක් හා හතරේ පහර 13ක් එල්ල කරමින් නොදැවී ලකුණු 140ක් හා නිලක්ෂි ද සිල්වා පන්දු 68කදී හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 48ක් ලබා ගත්හ.

 

දෙරට අතර තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ පළමු තරගය මේ 8 වැනිදා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

නවසීලන්ත කාන්තා පිල කඩුලු 2කට ලකුණු 127 (31)

සුසී බේට්ස් නොදැවී 73, අමෙලියා කර් 19, ෂොපී ඩෙව්නී නොදැවී 38 ( ඔෂධී රණසිංහ 22/1)

ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 2කට ලකුණු 196 (26.5)

චමරි අතපත්තු නොදැවී 140, නිලක්ෂි ද සිල්වා නොදැවී 48 (ලියා තාහූ 29/1, ෂොපී දෙව්නි 32/1)

error1
fb-share-icon0
Tweet 20


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Post a new comment

Your email address will not be published. Required fields are marked *